Thursday, January 6, 2011

කාන්තාවන්ට පමණයි!

මගේ මිතුරියකට ලඟදි මුහුන දෙන්න සිද්ද වෙච්ච දෙයක් නිසාම මේක ලියන්න හිතුනෙ.

ලඟදි එයා ගිහින් අලුත් ඇඳුමක් ගන්න. 2010  2011 ත් ලැබුවනෙ ලඟදි. මෙයා ‍තෝරල තොරල අරගෙන තියෙන්නෙ ටිකක් කර පලල ඇඳුමක්. ජනවාරි 1වෙනිදම බොහොම උජාරුවට මේකත් ඇඳගෙන බස් එකට නැගල වැඩට එන්න කියල. බස් එකේ වාඩිවෙන්න ආසනේකුත් හම්බ වෙලා. ටික වෙලාවකින් බස් එකට සෙනඟ පිරිල. මෙයා ලඟින් කොල්ලෙකුත් හිටගෙන ඉඳල. ටික වෙලාවකින් තමයි මෙයාට තෙරිලා තියෙන්නෙ කොල්ල උඩින් එයාගෙ පපුව දිහා බලා ඉන්න බව. කර පලළ ඇඳුමක් ගත්ත එකේ මෝඩකම කියල එයට හිතුන බවයි මටනම් එයා කිව්වෙ. ඒ කිව්ව විදිහට මගේ මිතුරිය හරිම අපහසුතාවයට පත් වෙලා මේ වැඩෙන්.

මම නම් ගත් කටටම කිව්වෙ අඳින්න බැරි අඳුම් ගත්තට හොඳ වැඩේ කියලා. ඒකට කෙල්ලට තවත් upset ගියා. මම එහෙම කිව්වෙ එයාව තව ටිකක් අවුස්සන්න හිතාගෙන. මට ඇත්තටම කියන්න ඕනෙ උනේ වෙනත් දෙයක්.

මේ දවස් වල ඇඳුම් ගැන රටේ ඇමති කෙනෙකුත් නොයෙක් කතා කියනව අහල ඇතිනෙ.

මටනම් මගේ හිතවත් කාන්තා පාර්ෂවයෙ අයට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටිකයි.

ඔයාලට කැමති අඳුම් ඔයාල අඳින්න. කවුරුවත් ඔයාල අඳින දේවල් පාලනය කරන්න එන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. ඔයාල ඇඳුම් ‍තෝරනකොට ඒක කොට එකක්ද, slit එකක් තියනවද, කර පලළ එකක්ද, අත් නැති එකක්ද, trasnparent එකක්ද, මෙකී නොකී සියලු දේවල් බලලනෙ ගන්නෙ. Fit on කුටියෙදි මේවා ලස්සනයි තමයි. ඒත් ඔයාලට මෙවා හිතට අපහසුවක් නැතුව පාරෙ තොටේ අඳල යන්න පුලුවන් වෙයිද කියලත් ටිකක් හිතල බලන්න.

බටහිර රටවල ඉන්න ගෑනුන්ටනම් කැමති දෙයක් ඇඳල පාරෙ බැහැල යන්න පුලුවන්. එයාලට කවුරු බැලුවත් ගානක් නෑ. ඒ තමන්ගෙ සිරුර ප්‍රදර්ශනය වීම ගැන එයාලට බයක් නැති හින්දයි. ඒත් අපේ රටේ අය fashion කරන්න කැමති උනාට ඇඟ පේනවට බයයි. කවුරුත් බලයි කියලා නිතර තමුන්ගෙ ඇඳුම් හරිගස්සනව. එහෙනම් මගේ හිතවතියන්ට options දෙකක් තියනව ‍තෝරගන්න.
1, තමන්ගෙ සිරුර ප්‍රදර්ශනයවීම ගැන ගනන් නොගෙන තමන්ට කැමති දෙයක් ඇඳීම.
2. එහෙම බැරි අය ඇඳුම් ‍තෝරගන්නකොට තමුන් අපහසුතාවයට පත් නොවෙන ඇඳුම් ‍තෝරගන්න එක

ඒ කොහොම ඇන්ඳත් එය තමුන්ගේ තෙරීමක් විය යුතුයි. ඇමති කෙනෙක් නියම කරන දෙයකට ඔයාල කොහොමටත් අකමැති බව අහන්නත් දෙයක්යැ.

Tuesday, January 4, 2011

සමහර දේවල්

සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒ බව දැන දැනත් සමහර දේවල් ගැන අපි බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා.
සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නව. හිතේ තියාගෙන වද විඳිනවා.
සමහර දේවල් ගැන අපි හිත හදාගන්න බලනවා. ඒත් කවදාවත් හිත හදා ගන්න බෑ.
සමහර දේවල්වලට අපි ගොඩක් සංවේදීයි. එත් එක අපි ඒක පෙන්නනෙ නෑ.
සමහර දේවල් ගැන හිතනකොට දුකයි. එත් ඒ දුක තමයි සතුටත්.

Sunday, December 26, 2010

World කියල සිංහලෙන් ලියන්නෙ කොහොමද?

ඔන්න මම වැඩි දෙනෙක්ගෙ ඉලීම පරිදි භාෂාව වෙනස් කලා.

භාෂාව ගැන කතා කරනකොට අපි සිංහල කියල කතා කරන්නෙ ඉංග්‍රීසිත් එක්ක කලවම් කරපු අමුතු භාෂාවක්නෙ. අපි හැමෝම අඩු වැඩි  වශයෙන් ඒ ව‍රැද්ද කරනව...... කාටවත් ඒකෙන් ගැලවීමක් නැති පාටයි.

ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ණයට ගත්ත වචන සිංහල භෂාවෙ මොනතරම් තියනවද. ඒත් මේ වච්න සිංහලෙන් ලියන්න ගියාපුවම තමයි දත කට පූට්‍ටු වෙන්නෙ.

ලඟදි මගෙන් ළමයෙක් අහනවා Zebra කියලා සිංහලෙන් ලියන්නෙ කොහොමද කියල. ඇත්තටම මේක "නිවැරදිව" ලියන්න ක්‍රමයක් මම නම් දන්නෙ නෑ.

යාන්තම් F තියන වචන ලියන්න "ෆ" අකුර තියනවා. ඒත් කාට හරි Ferguson කියල සිංහලෙන් ලියන්න ඔනෙනම් ආයෙත් අමාරුවෙ වැටෙනව. කාට හරි දැන් හිතෙන්න පුලුවන් "ෆර්ගසන්" කියල ලිව්වම ඉවරයිනෙ කියල. එත් හිතල බලනකොට ඒකෙ පොඩි වැ‍රැද්දක් තියනව වගෙයි පේන්නෙ. මෙන්න තවත් උදාහරණ කීපයක්.

Turpentine  ටර්පන්ටයින්
Sir සර්
Earl අර්ල්
World වර්ල්ඩ්

අපි මොකද දැන් මේකට කරන්නෙ?

Friday, December 24, 2010

මහ දවල් Robbery


පසුගිය දවසක මා කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම බස් නැවතුම්පොලින් 101 පිටකො‍ටුව මොර‍ටුව බසයකට නැග්ගේ බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසාවට යාමටය. මා බසයට ගොඩවනවාත් සමඟ තවත් ගැහැනු ළමුන් තිදෙනෙක් එයට ගොඩ උනෝය.

ඔවුන් කොන්දොස්තර "අයියාගෙන්" බම්බලපිටිය හන්දියට කීයක් ගන්නවාදැයි ඇසුවා මට මතකය. ඔවුන් කොන්දොස්තර "අයියාට" රුපියල් 30ක් දෙනවාද ම බලාගෙනය. කොන්දොස්තර "අයියා" ඔවුන්ට ඉතිරි කීයක්වත් නොදුන්න බවත් මා බලාගෙනය.

ඊලඟට මුදල් දීමට තිබුනේ මටය. මම රුපියල් 10යේ නෝට්‍ටුවක් දී "බම්බලපිටිය හන්දියට" ටිකට් එකක් ඉල්ලුවෙමි. කොන්දොස්තර "අයියාට" වගේවගක් නැත. ඔහු සල්ලි එකතු කරයි, ටිකට් නොබෙදයි. හරි, ප්‍රශ්නයක් නැත. ටිකට් නැතිනම් ඉතුරුවත් දිය යුතුය. නොදන්නා අයට දැන ගැනීමට...... කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිට බම්බලපිටිය හන්දියට රුපියල් 6කි. ඊට එහා යනවානම් රුපියල් 9කි.

 කොන්දොස්තර "අයියා" මගෙන් අමු දවල් රුපියල් 4 කොල්ලකෑමට යයි. පුරුෂ ධෛර්යය ඉදිරියට දමා යමක් කල යුතුය.

අයියා, මෙතන ඉඳලා බම්බලපිටිය හන්දියට කීයද?

රුපියල් 9යි......!

ආ.... කවද ඉඳලද? බම්බලපිටිය හන්දියට රුපියල් 6යි. මගෙ ඉතුරු රුපියල් 4 දෙනවද?

කොන්දොස්තර "අයියා" කිසිවක් නොවූවා සේ මට රුපියල් 4ක් දික්කලේය.

බම්බලපිටිය හන්දියෙන් අර ගෑනු ළමයින් තිදෙනාද බැසගත්තෝය. ඔවුන්ගෙන් කොන්දොස්තර "අයියා" ලැබූ ලාභය රුපියල් 12කි.

මොර‍ටුවට යනවිට තව කීයක්නම් හම්බ කරන්න ඇත්ද?

Friday, December 17, 2010

කෝ මේ Vwls

ඔබ කවදා හෝ පාසලේ දී ඉංග්‍රීසි අනුලේඛනය (Dictation) වරදවා තිබේද? මා නම් එසේ වරදවා ඇත. එහි අතුරු ඵලයක් ලෙස බැනුම් අසා හෝ ගුටි කා ඇත. ඒ බොහෝ කලකට පෙරය. දැන් කාලයේ පාසල්වල ඳඬුවම් දීම අඩුය. ඉංග්‍රීසි උගන්වනවාත් අඩුදයැයි පැහැදිලි සැකයක් පසුගිය කාලය තුල මට ඇති වූයේ මට ලැබුන කෙටි පණිවුඩ කීපයක් කියවීමෙන් පසුය. මේ ඉන් එකකි.

hi hw r u? sry I cldnt rply t u. hw s ur life? mine s borin, I thot of calin u @ end of da mnth be cldnt d tht. anywy i'l cal u ltr. tc.

මෙය එවූ තැනැත්තියගේ වයස අවුරුදු විස්සක් පමණය. ඇයට ස්වරාක්ෂර මග ඇරුනා විය යුතුය. අවුරුදු ගනනාවක් තොරතුරු තාක්ෂණය සමග එකට සිටීමෙන් ලැබූ පන්නරය නොතිබෙන්නට මා හට මෙම කෙටි පනිවුඩය ‍තෝරාගනීමට ඇයටම දුරකථන ඇමතුමක් ලබා දීමට සිදුවීමට ඉඩකඩ නොතිබුනා නොවේ. මට මගේ ඉංග්‍රීසි ගුරුවරුන් සිහිවිය. මෙවැනි දෑ දැකීමට ඔවුන් දැන් වයස වැඩිය. එවන් වයසකදී හිත් කම්පා කරවන දේවල් දැකීම නුසුසුය.

කෙටි පනිවුඩවල මෙවැනි අකුරු හැලීම් ඉවසිය හැක. ඒ කෙටි පණිවුඩයක් අක්ෂර 160ට සීමාවන බැවිනි. නමුත් මෙය දැන් email වලටද බෝවී ඇත. පහත දැක්වෙන්නේ එවන් email පණිවුඩයක කොටසකි.

pls snd me ur cmnts ASAP.

මා සිතා සිටියේ මෙම  ‍රැල්ල තරුණ හා ගැටවර වියේ පසුවන්නන්ගේ නැඹුරුවක් ලෙසය. මා වැරදිය. මේ බලන්න.

කලින් Reebok දැන් Rbk ය.
Kentucky Fried Chicken දැන් KFC ය.
ලොකුම වරදකරුවා Motorola සමාගමය. පසුගිය සමයේ ඔවුන් නිපදවූ ජංගම දුරකථන කිහිපයක වෙලඳ නාම දෙස බැලූවිට තත්වයේ බරපතලකම වටහේ.

ROKR, SLVR, PEBL,  RAZR, MOTOACTV, RIZR, KRZR

අපට එදිනෙදා දකින්නට ලැබෙන තවත් එවැනි වචනයක් ඇත. මෙයට නම් මාද පලමුව ඔල්මොරොන්දම් වී ගියේය. ඔබටත් එසේ වනවා දැයි බලන්න.

FCUK

Tuesday, December 14, 2010

මිනිසුන් වර්ග

අප හැමෝටම ජීවන දර්ශනයක් ඇත. මහ මග වෙසෙන සිඟන්නාගේ සිට ජනාධිපති තුමා දක්වා වෙනසක් නැතුවම මෙම ජීවන දර්ශනය ඇත. මෙය උපතින්ම අප අරන් එන්නක් නොවේ. අපගේ අත්දැකීම්, අධ්‍යාපනය සහ නොයෙකුත් දේ මෙම ජීවන දර්ශනය සකස් කිරීමග උපකාරී වෙයි.

මගේ ජීවන දර්ශනයට අනුව මිනිසුන් වර්ග 4 ක් වෙයි.

1. හමුවන විට සතුටක්ද සමු ගන්නා විට දුකක්ද ගෙනෙනා පුද්ගලයින්.
2. හමු වීම දුකක් හා වෙන් වීම සතුටක් ගෙනෙනා පුද්ගලයින්.
3. හමු වීමත් වෙන්වීමත් දුකක් ගෙනෙනා පුද්ගලයින්.
4. හමු වීමත් වෙන්වීමත් සතුටක් ගෙනෙනා පුද්ගලයින්.

පුදුමයනම්, හදවතට වැඩියෙන්ම සමීප 3 වන වර්ගයේ පුද්ගලයින් වීමය.

Saturday, December 4, 2010

Dee Jay

අද කන්තෝරුවේ නත්නල් සාදයයි. කලින් එයට සහභාගි වීමට සිතා හිටියත් හේතු කිහිපයක් නිසා එය වැලකී ගියේය. කන්තෝරුවේ හිතවතුන් කිහිපදෙනෙක් පෞද්ගලිකව පැමිණ  මට සාදයට පැමිණෙන මෙන් කල ඉල්ලීමට පි‍ටු පෑමට වීම කණගා‍ටුවට කරුනකි. එක මිතුරෙකු මා තම රථයේ නංවාගෙන ඒමට පවා කැමැත්ත පලකලත් එසේ නොකලේ ඔවුන්ට මා ඇනයක් වේ යයි සිතුනු නිසාය.

සාදය ජයටම පැවැත්වුනු බව දැනට ආරන්චිය. මෙවන් අවස්ථා වලදී සංගීතය සැපයීමේ වගකීම පැවරෙන්නේ කන්තෝරුවේම හිතවතෙකුවන ඩී. ජේ. ලසී ටය. අද ඔහුට කාර්ය බහුල දවසක් වූ බව නො අනුමානය.

මෙවන් අවස්ථා වලට සංගීතය සැපයීමේදී මුහුනදෙන එක ගැටලුවක් වන්නේ අසන්නන්ගේ ඉල්ලීම් සැපයීමය. අසන්නන්ගේ ඉල්ලීම් ඉ‍ටු කිරීමට ගියොත් එය ඩී.ජේ කිරීමක් නොවේය. එසේ නොකලොත් එය අසන්නන්ගේ දෝශදර්ශනයට ලක්වේ.

මෙවැනි අවස්ථා වලට සංගීතය සැපයීමේදී විවිධ වර්ගයේ පුද්ගලයන් හමුවේ. වරෙක මා සංගීතය සැපයූ සාදයකට පැමිණි මැදිවියේ පුද්ගලයෙකුගෙන් මා ගැලවුනේ මහත් වෑයමක් දරාය (මමත් හීනියට ඩී.ජේ කරනවාය ;-) ).

ඔහු මාවෙත පැමිණ ඔහුට ගීතයක් ගයන්න හැකිදැයි මගෙන් විමසීය. සාමාන්‍යයෙන් මා මයික්‍රෆෝනය අන් අය අතට පත්කරන්නට අකමැතිය. එයට මූලික හේතුව එක අයෙකුට දුන්විට තව කිහිප දෙනෙකුට මයික්‍රෆෝනය ඕනෑවන බැවිනි. මෙම අවස්ථාවෙදිනම් ඔහු පදමට වඩා වැඩියෙන් මදුවිත පානය කර තිබූ නිසා කොහොමටත් මගේ අකමැත්ත මට පැවසීමට සිදුවිය. එය එතනින් නිමාවට පත් නොවුනි.

"පුතා අද මම මෙතෙන්ට ආවෙ සින්දු කියන්න......"
"මාව මෙතෙන්ට ගෙන්නුවෙ සින්දු කියන්න..... මම දන්නෙ නෑ ඔය පුතා එනවා කියලා...!"

මගේ සහායක මගේ මුහුන බලයි. ඔහුට සිනා යන්න ඔන්න මෙන්නය.

"පුතා දන්නවද (.......) ගමට මම තමයි මුලින්ම සංගීත කන්ඩායමක් ගෙනාවෙ!"

"ආ.... ඇත්තද අන්කල්!"

"පුතාට කියන්න... මම අපේ ගමේ සංගීත කන්ඩායම් දෙකක් හැදුවා"
"මම (.......) තර‍ඟෙටත් ඉන්ඳල තියනවා. පොඩි කොල්ලො කෙල්ලන්ට මාත් එක්ක හැරෙන්නවත් බැහැ"

ඔහුට පි‍ටුපසින් ඔහුගේ නෑදෑයින් පිරිසක් ඔහුත් සමග වැඩිය භජනයට නොයන මෙන් මට හස්ථ මුද්‍රාවෙන් කියයි.

"පුතා ඕක ටිකක් නතර කරන්න"

මම ශබ්දය ටිකක් අඩු කෙරුවෙමි.

"පුතා, ඔයා අද මෙතෙන්ට එන්න ඕනෙ නෑ..... මට සින්දු කියන්න තිබුන, දන්නවනම් මගේ සංගීත කන්ඩායමක් මම ගේනවා.... අපරාදෙ"

මගේ සහායක මට ඇඟිල්ලෙන් අනියි.

මගේ කට කොනනට නොදැනුවත්වම සිනහවක් පැමිණියේය. වරද මගේය.

"පුතා, ඇයි මට සින්දු කියන්න බෑ කියල හිතුවද?"
"මට අලුත් ගායකයො කියන හැම සින්දුවක්ම කියන්න පුලුවන්"
"ඔන්න බලන්න පුතා........"

ඔහු චන්දන ලියනාරච්චි මහතාගේ  කඩුපුල් මල ගීතය ගායනා කිරීමට පටන් ගනී.
ඇත්තය, ඔහුට ගායන හැකියාව ඇත. ඇනයක් වීමේ හැකියාව ඕනෙවටත් වැඩියෙන් ඇත.

"කොහොමද පුතා"

"ශා... අංකල් මරුනෙ"

මගේ සහායක බිම බලා ගනියි.

"දැන් ඉන්න කොල්ලන්ට ඒ වගේ සින්දු කියන්න පුලුවන්ද....."

"ඔන්න බලන්න පුතා...."

ඔහු කලින් ගීතයම ස්වර වලින් ගායනා කරයි. එසේ ස්වර වලින් ගායනා කිරීම ඉතා අපහසු කටයුත්තකි. එසේ කල හැක්කේ සංගීතය සෑහෙන දුරට හැදෑරූ අයට පමණකි.

මේ වන විට ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙක් පැමිණ ඔහුව අප කෙරෙන් ඉවත් කරගෙන ගියෝය.

මමත් සහායකත් අපගේ ඩී.ජේ උපකරණත් තනි කර දමා ඉවතට ගියේ හිතේ හැටියට හිනා වීමටය.